Skip links

ලංකාවේ අවංක රාජ්‍ය නිලධාරීන් ඉන්නවද?

ලංකාවේ පුරවැසියන් රාජ්‍ය සේවය පිළිබඳව දරන ආකල්පය තරමක් ඍණාත්මකයි. බොහෝ විට රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගැනීමේදී ඔවුන්ට මුහුණ දීමට සිදු වුණු අත්දැකීම් හෝ රටේ ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යය තුල සහ සමාජ මාධ්‍යය තුල නිරන්තරයෙන්ම රාජ්‍ය සේවයේ අඬුලුහුඬුකම් හුවා දක්වමින් වැරදි කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ඇති කරන ප්‍රසිද්ධිය මීට හේතුවෙයි. රාජ්‍ය සේවය පිළිබඳව ඍණාත්මක ආකල්ප සමාජය තුල මුල්බැස ගත් මෙවැනි පසුබිමක අවංක හා කැපවීමෙන් සිය සේවය කරන බහුතරයක් වූ  රාජ්‍ය නිලධාරීන් ඉස්මතු නොවී යටපත් වී යාම පුදුමයක් නොවේ.

අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් හමුවේ මෙන්ම අල්ලසක් ලබා දීමෙන් තොරව තමාට අවශ්‍ය සේවාව රාජ්‍ය නිලධාරියෙක්ගෙන් ලබා ගැනීමට නොහැකි වෙන අවස්ථාවක, පුරවැසියෙක්ට සමස්ත රාජ්‍ය සේවයම පිළිබඳව ඇති වන්නේ අප්‍රසාදයකි. එසේම එවැනි අවස්ථා නිසා බිඳී යන පුරවැසියාගේ විශ්වාසය නැවත දිනා ගැනීමට කල යුතුව ඇත්තේ අවංකව සහ සුපිළිපන්භාවයෙන් යුතුව මහජන සේවයේ යෙදෙන නිලධාරීන් පිළිබඳව පුළුල් කතිකාවක් ඇති කිරීමත් එවැනි රාජ්‍ය නිලධාරීන් අගය කරමින් ඔවුන්ව දිරි ගැන්වීමත්ය. මේ හරහා රාජ්‍ය සේවය පිලිබඳ ව යහපත් බලාපොරොත්තුවක් පුරවැසියා තුල ඇති වන අතර එය රාජ්‍ය සේවයට එක් වන නවක නිලධාරීනට ආදර්ශයක් ද වෙයි.

 

මොකක්ද මේ සුපිළිපන්බව ?

කිසිවෙක් ඔබව නිරීක්ෂණය නොකරන අවස්ථාවක දී පවා නිවැරදිව සහ අවංකව කටයුතු කිරීම සුපිළිපන්භාවයයි. විවිධ දේශපාලන බලපෑම් සහ තර්ජන හමුවේ ඉතා නිවැරදි තීරණ ගනිමින් ඒවා ක්‍රියාත්මක කරන සුපිළිපන් රාජ්‍ය නිලධාරීන් පිලිබඳ සමාජ මාධ්‍යය ඔස්සේ මෑත කාලීනව පුරවැසියන් අතරේ කතාබහට ලක් විය. ඇතැම් විට සිය ජීවිතය පවා පරදුවට තබමින් සිය තනතුරේ රාජකාරිය ඉතා නිවැරදිව ඉටු කරමින්, තම දෛනික රාජකාරි වලින් ඔබ්බට ගොස් තම රාජකාරි ස්ථානයේ, ප්‍රදේශයේ සහ රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ඔබ අසා ඇති. එවැනි රාජ්‍ය නිලධරියෙක්ගෙන් ඔබ සේවාවක් ලබා ගෙන තිබෙනවා වෙන්නට පුළුවන්.

එවැනි රාජ්‍ය නිලධාරීන් පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහ කල යුතු කාලයකි, මේ. 2020 වර්ෂය ආරම්භයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟම ලංකාවේ හෙද වෘත්තිකයින්, වෛද්‍ය වෘත්තිකයින් වගේම වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත සියලුම නිලධාරීන් ක්‍රියා කල ආකාරය ඉතා ප්‍රශංසනීයයි. ඒ සමඟම ප්‍රාදේශීය මට්ටමේ පරිපාලන නිලධාරීන්ට පැවරුණු වගකීම අතිමහත්ය. සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ජනතාවට අවශ්‍ය මුලික පහසුකම් අඛණ්ඩව ලබා දෙමින්, ආහාර, බෙහෙත් සහ වෙනත් ආධාර නිසි වෙලාවට ලබා දීම සිදු කරන අතරේ වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම නිසාම ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල කාර්ය මණ්ඩලයේ පැමිණීම සීමා කරන්නට සිදු වූ අවස්ථා වලදීත් දිවා රාත්‍රී නොබලා වෙහෙසෙමින් කටයුතු කල නිලධාරීන් පිළිබඳව අපි දැන ගත්තෙමු.

2018 වර්ෂයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් දියත් කල සුපිළිපන් ප්‍රණාම වැඩසටහනේ එම වසරේ අවංකතම රාජ්‍ය නිලධාරීන් පස් දෙනා අතරට තේරී පත් වුණු මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී කමනි අසෝකා ද සිල්වා මහත්මිය වරක් මෙසේ අදහස් දැක්වූවාය.

”කාර්යබහුල වෘත්තියක නියැලෙමින් මවක්, බිරිඳක්, ගෘහණියක් වශයෙන් තවත් කාන්තාවකට පූර්වාදර්ශයක් වීමට හැකි වීම මා ලද භාග්‍යයක් කොට මා සලකනවා. මම මගේ මුදල් පසුම්බිය තර කර ගන්න ක්‍රමයක් හෙව්වේ නැහැ. මට පුළුවන් මට්ටමෙන් මං උදව් කරල මං සතුට ලබා ගත්තා”

මෙවන් නිලධාරීන් කොරෝනා වසංගතය හමුවේ තමන්ගේ ජීවිත අවධානමත් නොතකා තම රාජකාරිය සහ මහජන සුබසිද්ධිය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව නොරහසකි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සුපිළිපන් ප්‍රණාම වැඩසටහන සුවිශේෂී වන්නේ එබැවිනි. වසරක් පාසා, නාම යෝජනා ලබා දීමේ සිට, ගෞරවණීය විනිසුරු මඬුල්ලේ තීරණයෙන් අභිෂේක ලබන වසරේ අවංකතම රාජ්‍ය නිලධාරීන් පස් දෙනා අතරින් ජනතාවගේ ප්‍රසාදය වඩාත් දිනා ගත් ජනප්‍රියතම රාජ්‍ය නිලධාරියා/නිලධාරිනිය තෝරා පත් කර දීමේ අවස්ථාව දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ජනතා සහභාගීත්වයෙනි. 2018, 2019 සහ 2020 වසර සඳහා අවංක රාජ්‍ය නිලධාරීන් යෝජනා කරමින් ජනතාවගෙන් ලැබුණු 500කට අධික නාමයෝජනා ප්‍රමාණය අප රටේ අවංක රාජ්‍ය නිලධාරීන් අගය කිරීමට ජනතාවගේ ඇති උද්‍යෝගය මැනවින් තහවුරු කරයි.

මෙවරත්, රටේ සෑම ප්‍රදේශයකින්ම ඉදිරිපත් කරන ලද නාමයෝජනා 100කට අධික ප්‍රමාණයක් අතරින් අවංක, සුපිළිපන් රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙක් ”සුපිළිපන් ප්‍රණාම 2020” වැඩසටහන හරහා දැනටමත් තෝරා ගෙන අවසන්. ඔවුන් පිලිබඳ තොරතුරු නොබෝ දිනකින්ම ජනතාවට දැනුම් දෙනු ඇත.

රටක පුරවැසියන්ට සිය සේවය ලබා දීමේදී ඒ සඳහා වගවෙන සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන, නිවැරදි සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීම ඒ රටේ දූෂණය අවම කිරීමේ පළමු පියවරයි. සිය එදිනෙදා රාජකාරියෙන් ඔබ්බට ගොස් මහජන සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නොයෙකුත් බාධක හමුවේ නොසැලී නීතිගරුකව කටයුතු කරන මෙවැනි රාජ්‍ය නිලධාරීන් අගය කරමින් ඔවුන් පිලිබඳ සමාජ කතිකාවක් ඇති කිරීම පුරවැසි අපගේ යුතුකමක් නොවේද?

-ජනිත්‍රිකා ජයසුන්දර-

Leave a comment

This website uses cookies to improve your web experience.