පිළලයකින් ගසක් විනාශ කරන්නේ යම් සේද, එසේම ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළලයක් වී ගම්මාන විනාශ කරමින් සිටින්නේය. එහෙත් මේ වන තෙක් කිසිඳු වගකිවයුතු ආයතනයක් හෝ බලධාරියෙකු මේ පිළලය විනාශ කොට ගම්මාන වල ජීවිත රැක ගැනීමට කිසිඳු පියවරක් ගෙන නොමැත. ඒ හෙයින් මේ පිළලය ගම් නියම්ගම් පුරා පැතිර යමින් සරුවට වැඩෙමින් පවතී.
ක්ෂුද්‍ර මූල්‍ය ණය නම් වූ මේ පිළලය දැනට ජීවිත 179 භක්ෂණය කර අවසන්ය. පවුල් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කර අවසන්ය. පවුල් ලක්ෂ ගණනක කුටුම්භ විනාශ කර අවසන්ය. ගැනිය නොහැකි තරමක් බිරිදෑවරුන්ට ස්වාමිද ස්වාමියන්ට බිරින්දෑවරුන්ද දරුවන්ට දෙමාපිය ද සබඳතා බිඳ දමා අවසන්ය. එහෙත් ඉන් නොනැවතී මේ කරුම චක්‍රය තවත් ජීවිත සොයමින් සැරිසරමින් සිටී.
අප මීට පෙර ක්ෂුද්‍ර මූල්‍ය ණයට ගොදුරු වූ මිනිසුන් සොයා වව්නියාව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ගල් ඔය ආදී ප්‍රදේශ වල සැරි සැරුවෙමු. මෙවර අප සොයා ගියේ වැලිඔය මිනිසුන්ගේ කතාවයි.
වැලිඔය, යුද්ධය පැවති කාළසීමාවේ වැලිඔය බොහෝ ප්‍රසිද්ධියක් ඉසිලූයේ වැලිඔය යුධ හමුදා කඳවුර නිසාවෙනි. එය රජයේ හමුදාවන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල විය. වරක් එල්. ටී. ටී. යී. ය විසින් කාන්තා සෙබලියන් යොදා විශාල ප්‍රහාරයක් මේ කඳවුරට එල්ල කරන ලදී. යුද්ධය කෙතරම් දරුණුවට මේ පළාත්වල පැතිර තිබුණාද යත් මේ වන විට පවා විවිධ ස්ථාන වලින් මිනිස් අස්ථි පවා හමුවී ඇත. කෙසේ හෝ මේ ප්‍රදේශය තවමත් යුද්ධයේ භයංකාර සලුව පොරොවාගෙන සිටින බව බැලූ බැල්මට පෙනේ. අපගේ ගමනාන්තය වූ වැලිඔය සපුමල් තැන්නට යන මාර්ගය වැටී ඇත්තේ වැලි ඔය යුධ හමුදා කඳවුර මැදිනි. එය පසුකර ගිය පසු වනාන්තරය මැදින් ඇදී ගොස් මානා කැලෑවක් මැදින් වැටී ඇති වංක ගිරියක් වැනි මාර්ගයක් හරහා යා යුතුය. අප පැමිණි මාර්ගයේ පරාක්‍රමපුර පසිකළාට පසු යුධ හමුදා කඳවුර තුළ ඇති අවන්හලක් හැරුණු විට එකඳ වෙළඳ සැලැක් හෝ නොවීය. සපුමල් තැන්නේ එක් සිල්ලර බඩු කඩයක් ඇති බව එහි ගම් වැසියන් අපට පැවසීය. වනාන්තරයකින් වටවී කිසිඳු මූලික පහසුකමක් හෝ නොමැතිවන ඒ ගෙවන ජීවිත සැබැවින්ම දුශ්කරය.
හම්බන්තොටින් වැලිඔයට
සපුමල්තැන්නේ දැන් ජීවත් වන ගම්වාසීන් එම භූමියේ මුල් පාරම්පරික පදිංචිකරුවන් නොවේ. මේ මිනිසුන්ගේ මුල් ගම්මාන හම්බන්තොටය. හම්බන්තොට මිරිජ්ජවිලය. එනම් හම්බන්තොට වරාය පිහිටා ඇති ප්‍රදේශයේය. මොවුන් ඒ ප්‍රදේශ වල ජීවත් වූවද ඔවුන්ට එහි ඉඩම් තිබී නැත. ඒ නිසාවෙන් එවකට පැවති රජය වූ මහින්ද රාජපක්ෂ රජය විසින් මොවුන් මේ ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇත. ඒ දෙදහස් දහතුනේ මැයි මස දහවැනිදාය. එසේ මොවුන් මිරිජ්ජවිල සිට මේ ප්‍රදේශ වලට ගෙනත් දමන්නේ අහස උසට පොරොන්දු ලබා දීය.
”අපිව මෙහෙට ගෙනාවෙ ඉඩම් දෙනවා, ලයිට් දෙනවා, ගෙවල් දෙනවා කියල. අපට කියල තිබ්බෙ ගෙවල් ඔක්කොම හදල තියෙන්නෙ ගේ වටේ පොඞ්ඩක් සුද්ද කරගන්ඩ කැත්තකුයි උදැල්ලකුයි ගන්ඩ කියල. හැබැයි අපි මෙහාට ඇවිල්ල අවුරුදු හතරකට පස්සෙ තමයි ගෙයක් හම්බ උනේ. ඒකත් ගෙයක් හදාගන්ඩ කියල ලක්ෂ පහක් දුන්න හැබැයි ලක්ෂ තුනක් විතර තමයි අතට හම්බ උනේ. අපි මෙහාට එද්දි මේ ඉඩම් වල කණු හතරක් හිටවල තිබ්බ. ඊට පස්සෙ අපට මහ වැලියෙන් තහඩු දොළහකුයි, කැත්තකුයි, උදැල්ලකුයි දුන්න.” සම්පාය පවසයි.
දහසක් සම්පත් මවා එවකට පැවති රජය මොවුන් මේ ප්‍රදේශ වලට ගෙන ආවද අවසානයේ මොවුන්ට සිදු වූයේ සතා සර්පයා සිටිනා ඝන වනාන්තරයකට පැමිණීමටය. මෙහි මූලිය අවශ්‍යතා වන ජල පහසුව හෝ ලබා දී නැත. මොවුන් පානීය ජලය ලබා ගන්නේ කිලෝමීටර ගණනක් ඈතට ගොස් ලීටරයක මිල රුපියලක් වන ජලය මිළදී ගෙනය.
”අපට මෙහාට ආවට පස්සෙ මාස හයක් සහනාධාරයක් දුන්න. උන එකම දේ ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහත්තය ඇවිල්ල ඒක තව මාසහයක් දික් කරල දුන්න එක. අපට ගොවිතැනට ඉඩම් දීල තිබුණට අපි මෙහාට ඇවිල්ල අවුරුදු හතරක් පෑව්ව. මහවැලියෙන් ඇවිල්ල කියනව අපිට වගා කරන්ඩ කියල. කොහොම හරි එයාල බීජ දෙන්නෙ වැස්ස පටන් ගත්තට පස්සෙ කන්නෙන් භාගය ගියහම. එතකොට ආය නියගෙට අහුවෙනව. ඊට පස්සෙ අපිට වැවක් හදල දෙනව කියල, මයින්ඩ ඕනෙ සුද්ද කරන්ඩ කීව. මේ ගෑණු අය ගිහිල්ල ඔක්කොම සුද්ද කරා. ඒත් එක හීනයක් විතරයි. මේ වෙනකන් ඒ වැඬේ වෙලා නෑ. අපිට වැවක් තිබ්බ නම් ගොවිතැනක් කරගන්ඩ පුලුවන්.” නන්දසේන කියයි.
ණය උගුල
”අපිට මෙහාට ඇවිල්ල කරන්ඩ දෙයක් තිබුණෙනෑ. ඉන්ඩ තැනක් වත් හරියට නොතිබ්බ නිසා ඉන්ඩ ගෙයක් හදා ගන්න එක තමයි මූලිකම දේ උනේ. වතුර නැතුව ගොවිතැනක් කරගන්ඩත් නෑ, මේ පැත්ත ගැන අපි නොදන්න නිසා කොච්චර උත්සහ කරත් රස්සාවක් හොයා ගන්ඩත් බැරි උනා. අපි ජීවත් උනේ හම්බ උන සහනාධාරයෙන්. මුලින් මුලින් පොඩි පොඩි කුලී වැඩ කරත් ඒවත් අන්තිමේ නැතුව ගියා. අන්තිමට ගෙවල් හදන්ඩ නෙවේ එදිනෙදා කන්ඩ බොන්ඩත් අමාරු උනා.” සම්පාය කියයි.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වල තැරැව්කරුවන් සපුමල්ගමට එන්නේ මේ අවස්ථාවේය. ඔවුන් ගමට පැමිණ මහා හීන මවා ගම්මානයේ කාන්තාවන් ඔවුන්ගේ දැලේ දාගනී. ඔවුන්ගේ සුරංගනා කතා හමුවේ ගමට ඔවුන් සුර දූතයන් සේ පෙනේ. ඉණික්බිති මේ සුර දූතයෝ ගමේ ගැහැණුන්ට ණය දෙති.
”ළමයි ඉස්කෝලෙ යවාගන්ඩ විදිහක් තිබ්බෙ නෑ. ඉන්ඩ ගෙයක් දොරක් තිබ්බෙත් නෑ. ඉතින් අපිට ණය දෙනව කීවහම අපි ණය ගත්ත. ගෙවල් හදන්ඩ කියල නෙවේ ණය දුන්නෙ ගෙවිතැන් කටයුතු වලට කියල.” සුදර්මා කියයි.
ණය ගොවිතැන් කටයුතු සඳහා යැයි පවසා ලබා දුන්නද එය ගිවිසුමට පමණක් සීමා වන බව දෙපාර්ශවයම දන්නා කරුණකි. ණය ලබා දෙන ආයතන වලට වැදගත් වන්නේ ණයෙන් සිදුකරන දේ නොව ණය ලබා දීම පමණි.
ණයක් ලබාගෙන එය ගෙවීමට නම් ඒ සඳහ එම ණය ආයෝජනය කර එයින් මුදල් ඉපයිය යුතුය. එසේ නැතිනම් ණය ගෙවා දැමීමට තරම් ආදායම් මාර්ගයක් එනම්, රැකියාවක් තිබිය යුතුය. එහෙත් මේ ජනතාවට එවැනි කිසිවක් නැත. ඒ හෙයින් ඔවුන් ණය උගුලෙහි සිරවේ.
”අපට කන්ඩ බොන්ඩවත් තිබ්බෙ නැති නිසා ණයට ගත්ත සල්ලිවලින් කෑව. ළමයිව ඉස්කෝලෙ යැව්ව. බෙත්හේත් ගත්ත. මුලින් කුලී වැඩ කරල හරි හම්බෙන සල්ලි වලින් ණය ගෙව්ව. ඒත් පහුවෙනකොට කුලී වැඩත් නැතුව ගියාට පස්සෙ ණය ගෙවා ගන්ඩ බැරි උනා.” තුෂාරි කියයි.
පැහැදිලි ලෙසම තුෂාරි සේම බහුතරක් දෙනා මේ ණය යොදවාගෙන ඇත්තේ සිය දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමටය. මෙය පැහැදිලිවම ක්ෂුද්‍ර මූල්‍ය භාවිතාවන් උල්ලංගනයකි. එහෙත් එහි වැරැද්ද මේ ණය ලබාගත් මිනිසුන්ගේ නොවේ. ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේදී ඉතාම වැදගත් ලෙස අවධාරණය කරන්නේ ”ණය නියාමණයයි”. එනම්, ණය ලබාදීමෙන් පසු සහ ඊට පෙර එම ණය ආයෝජනය කරන ආකාරය නිරීක්ෂණය කිරීම සහ කළමණාකරනය කිරීම වේ. ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේදී එය ණය ලබා දෙන ආයතනය විසින් සිදු කළ යුතුය. එහෙත් අප සපුමල්ගම මිනිසුන්ගේන් ඒ පිළිබඳව විමසීමේදී එවැන්නක් ණය ලබා දීමට පෙර හෝ පසු කිසිඳු විටක ණය ලබාදෙන ආයතන හෝ වෙනත් කිසිවෙකු විසින් සිදු කර නොමැති බව තහවුරු විය.
තර්ජන
ක්ෂුද්‍ර මූල්‍ය තැරැව්කරුවන්ගෙන් සුපුරුදු පරිදි ලංකාවේ අනෙකුත් පළාත්වල සේම විවිධ තර්ජන සපුමල්ගම ගම් වැසියන්ටද එල්ල වී ඇත. ණය වාරික ගෙවීමට නොහැකි වන විට තැරැව්කරුවන් ගම්මාන වලට පැමිණ ණය ගෙවන ලෙසට බළකර සිටී. එහෙත් ණය ගෙවීමට මුදල් ගම්වැසියන් සතුව නොමැති බැවින් ඔවුන් ඉල්ලන විට ණය වාරික පියවීමට නොහැකිය. එවිට ණය තැරැව්කරුවන් හෙවත් ණය ලබාදෙන ආයතන වල නියෝජිතයන් නිවෙස් වලට වී තර්ජනය කරමින් රැඳී සිටිති. එසේ මොවුන් සිටින්නේ පැයක් දෙකක් නොව වරු ගණන්ය.
එසේම ණ්ය ගෙවීමට නොහැකි තැන මෙම නියෝජිතයන් ගම්වැසියන්ගේ ඉඩම් බලපත්‍ර රැගෙන ගෙස් ඇත. මේ ඉඩම් වල මොවුන් පදිංචි කලද මුලින්ම මේ ඉඩම් සඳහා ඔප්පු ලබා දී නොමැති අතර ඔවුන්ට ලබා දී ඇත්තේ ඉඩම් සඳහා බළපත්‍රය. කෙසේ වෙතත් කිසිවෙකුට ඉඩම් බලපත්‍රයක් පැවරිය නොහැකිය. එසේම කිසිවෙකුට වෙනත් අයෙකුගේ ඉඩම් බලපත්‍රයක් ලබාගත හැක්කේද නොහේ. එහෙත් මෙහිදී බළහත්කාරයෙන් තර්ජනාත්මක ලෙස ඉඩම් බලපත්‍ර ලබාගෙන ඇත. එසේ ඉඩම් බලපත්‍ර ලබාගෙන ඇත්තේ, එල්.ඕ.එල්.සී සමාගම, එලායන්ස් සමාගම, සනස බැංකුව ආදී ආයතන විසින්ය. මෙසේ ඉඩම් බලපත්‍ර ලබා ගැනීම පැහැදිලිවම නීතිය කඩ කිරීමකි.
”මගෙ ඉඩමට දීල තිබ්බ බලපත්‍රය එල්.ඕ.එල්.සී එකේ ධනුෂක අරගෙන ගියා. දැන් සමහර අයට ඉඩමට ඔප්පු දීල තියනව. මට මගෙ ඉඩමෙ ඔප්පුව ගන්ඩ විදිහක් නැතුව ඉන්නෙ එයාල මගෙ ඉඩම් බලපත්‍රය අරගෙන ගියපු නිසා” කුමාරි පවසයි.
තර්ජන එතැනින් නවතින්නේ නැත. රේණුකාට මුහුණ දීමට සිදුවූ සිදුවීම ඇය පැවසූවේ මෙසේය. ”මම සණසෙන් ණයක් ගත්ත. මම මුලින් ගෙවාගෙන ගියාට පස්සෙ මට ගෙවන්ඩ විදිහක් නැති උනා. ඊට පස්සෙ දවසක් සණසෙ අය නීතීඥ්ඥයෙකුත් එක්ක ඇවිල්ල මගෙන් සල්ලි ඉල්ලල බළ කරා. මගෙ අතේ එවලෙ දෙන්ඩ සල්ලි තිබුණෙ නෑ. ඊට පස්සෙ එයාල ගෙදර බඩුමුට්ටු අරගෙන යන්ඩ හැදුව. මම එපා කීව, ඊට පස්සෙ මම ගෙදර ඔප්පුව දීල ඒක අරගෙන යන්ඩ කීව. එයාල ගෙදර ඔප්පුව බළල ඒක මහත්තයගෙ නමට තියන නිසා ඒක වැඩක් නෑ කීව. පස්සෙ නීතීඥ්ඥන මහත්තය ලියුමක් ලිව ගෙදර බඩු විකුණන්ඩ කැමතියි කියල. මට ඒකට අත්සන් කරන්ඩ කීව. මම බෑ කීවට එයාල මට බළකරා. ළමයත් බයවෙලා අඬනව, අන්තිමට මට කරන්ඩම දෙයක් නැති තැන මම ඒකට අත්සන් කරා.”
”අපේ ළමයට ඉස්කෝලෙ යන්ඩ පොතක් අරන්දෙන්ඩවත් මගෙ ළඟ සල්ලි තිබෙන නෑ. තිබ්බ සල්ලි වලින් ණය ගෙව්ව. අන්තිමට පංසලට ගිහිල්ල ගිහිල්ල හාමුදුරුවන්ගෙන් පොත්ටිකක් ඉල්ලගෙන ඇවිල්ල තමයි ළමයව ඉස්කෝලෙ යැව්වෙ.” සුදර්මා හැඬූ කඳුලින් පවසයි.
රැකියාද, ආදායමක් ලබා ගැනීමට ගොවිතැනක් ද කර ගැනීමට නොහැකි තැන ණය උගුල ඔවුන්ගේ ජීවිත්යට අරුමැසිවාදී රූපයක් මවා පැමිණ එහි සලු ගලවා සැබෑ විනාශකාරී රූපයෙන් ඔවුන් ගිල ගනිමින් සිටී.
”සමහර දවසකට වතුර ටිකක් ගන්ඩ රුපියලක් නැතුව ඉන්නව. මෙහෙ තියන වතුර දරුවන්ට පොවන්ඩ බෑ. වකුගඩු ලෙඬේ හැදෙනව. අපි හම්බන්තොට ඉද්දි මේ මොන ලෙඩක්වත් තිබ්බෙ නෑ. අපි මොනවහරි කරල ජීවත් උනා. මෙහාට ආවට පස්සෙ හැම ලෙඩක්ම පටන් ගත්ත. දැන් ගමේ ගොඩක් අයට වකුගඩු ලෙඬේ තියනව.” තුෂාරි පවසයි.
බොහෝ දෙනෙකු සංවේදී වේ. සිය දරුවන් තුරුලු කරගෙන කඳුලු සලයි. ඔවුන්ට අනාගතය පිළිබඳව සැලසුම් සෑදිය නොහැකිය. ඔවුන් උදෑසන අවදි වූ විට දහවලද දහවල ගෙවී ගිය පසු රාත්‍රියද ගෙවා දැමීමේ බළාපොරොත්තුවමත ම පමණක් දවස ගෙවා දමයි. එහෙත් ඔවුන් හම්බන්තොට සිට මෙහි පැමිණෙයේ අනාගතය පිළිබඳව බළාපොරොත්තු ගොන්නක් කර රඳවාගෙනය.
රැවටීම සහ අසරණකම
මොවුන්ගේ ජීවිත පිළිබඳව සොයා බැලීමට මෙහි එන පෞද්ගලික ආයතන හෝ රජයේ ආයතන නැත. ඒ නිසාම මොවුන්ට තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හෝ රටේ නීතිය පිළිබඳව අවබෝධයක් නැත. ඒ හෙයින් ණය එකතු කිරීමට එන නියෝජිතයන් පවසන කාරණා සත්‍ය යැයි හිස් මුදුණින් පිළිගෙන ඔවුන් ඒ නියෝජිතයන් කියන දේවල් කරති. බණින බැණුම් කරබාගෙන අසා සිටිති. ඇතැමුන්ගෙන් මේ ආයතන හිස් කොළ වලට අත්සන් ගෙන ඇත. එසේම පළමු ණය ගිවිසුම වෙනුවට ගිවිසුම වෙනස් කර අත්සන් කර ඇත. ණය ලබා දෙන ආයතන මේවා සිදු කරන්නේ ඒවා සිදු නොකළහොත් ණඩු දමණ බවට බිය ගන්වාය. මේ අසරණ ගම් වැසියන් ඒ බසට බියවී ඔවුන් කියන ඕනෑම දෙයක් සිදු කරති.
”අරෙහෙන් බයික් එකේ සද්දෙ ඇහෙනකොට අපි දුවනව. ඊට පස්සෙ එයාල ගෙදරට ඇවිල්ල ළමයින්ට බයිනව. එයාල යනකන් සමහර වෙලාවට අපි කැලෑවෙ පැය ගානක් හැංගිලා ඉන්නව.” රුවනි පවසයි.
”දවසක් ණය එකතු කරන්ඩ එද්දි මට කීයක්වත් දෙන්ඩ විදිහක් තිබ්බෙ නෑ. අන්තිමට මම ගෙදරින් පැනල ගිහිල්ල බෝංචි යායෙ බිම නිදාගෙන හිටිය….” සුදර්මා පවසයි. ඇගේ ඇසඟින් කඳුලු වැටේ. ”දැන් අපිට අපේ දරුවන්ටවත් මුහුණ දෙන්ඩ බෑ, අපි හොරු ගානට වැටිල. ” සුදර්මා කියයි.
එසේම මෙම ණය දෙන ආයතන සෑම එකක්ම පාහේ ණය ලබාදෙන විට අත්සන් ලබාගෙන ඇත්තේ ඉංග්‍රීසියෙන් සැකසූ ගිවිසුම් වලටය. ඒවායේ කුමක් තිබුණා දැයි තමන් නොදන්නා බව ගම් වැසියන් පවසති. එසේම මෙම ණය කණ්ඩායම් ණය එනම් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙස පවසා ලබා දී තිබුණද ඇතැම් ණය ලබා දී ඇත්තේ සාමාන්‍ය පෞද්ගලික ණයක් ලෙසය. එනම් ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ලියා පදිංචි වී නොමැති මූල්‍ය ආයතන ක්ෂුද්‍ර මූල්‍ය ණය යැයි පවසා පුද්ගලික ණය ලබා දීම සිදු කරයි. ඒ බව හෙලිවූයේ එච්. එන්. බී. ආයතනය විසින් එක් කාන්තාවකට විරිද්ධව නඩු පවරාඇයට එවා ඇති සිතාසිය අනුවය.
එසේම මේ කාන්තාවන්ගෙන් ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුණු ගිවිසුමකට අත්සන් ලබාගත්තද ඔවුන්ට එවා ඇති සිතාසියට අමුණා ඇති ණය ගිවිසුමේ සිංහල භාෂාවෙන්ද වෙයි. එහෙත් කාන්තාවන් පවසන්නේ එවැන්නකට ඔවුන් අත්සන් නොකළ බවයි. එසේම ඇතැම් කාන්තාවන්ට නීතීඥයන් මාර්ගයෙන් එවූ එන්තරවාසිද ඇත. එහෙත් ඒවායේ නිළ මුද්‍රාවන් දක්නට නොමැත. ඒ අනුව විවිධ ආකාරයෙන් ණය ලබාදුන් ආයතන ගම්වැසියන්ව බිය ගැන්වීමට උත්සහ කරන බව පැහැදිලිය.
එසේම සපුමල්තැන්න ගම්මානයට තැපැල් පහසුකම් නොමැත. ඒ නිසා ඔවුන්ට ලිපි ලැබේන්නේ නැත. ඔවුන් පරාක්‍රමපුරයට ගොස් ඒවා රැගෙන ආ යුතුය. ඒ නිසාවෙන්ද ඔවුන් විශාල වශයෙන් පිඩාවට පත්වෙති. ණය සම්බන්ධ ගැටලු වලට සමත මණ්ඩලයට පැමිණෙන ලෙස දන්වා ඔවුන්ට එවනු ලබන ලිපි ඔවුන්ට ලැබෙන්නේ කැඳවීමේ දිනය පසුවූවාට පසුවය. ඒ නිසා සමත මණ්ඩලය ඒවාට එකපාර්ශවිකව තීන්දු දෙනු ලබයි.
සමස්ථයක් ලෙස ගත් කළ දිවයින පුරාම පැතිර ඇති මේ අර්බුධයේ පැහැදිලිවම දැකගත හැකි පොදු සාධක කිහිපයක් පවති.
එනම්,
1.කාන්තාවන් ඉලක්ක කරගනිමින් ණය ලබා දීම (ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ ප්‍රධානතම ලක්ෂණයයි )
2.දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් තෝරා ගැනීම.
3.ණය ලබා දීමේ ක්‍රියාවලිය, පොලී ප්‍රතිශතය ප්‍රකාශ නොකිරීම.
4.ණය ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් යුක්ත වීම සහ එය කියවා පැහැදිලි කර නොදීම.
5.අධික පොලිය සහ දඩ පොලිය.
6.ණය ගිවිසුමේ ව්‍යාපාරික කටයුත්තකට හෝ ගොවිතැන් සඳහා ණය ලබා දෙන බව පවසා ආයෝජන නොවන පරිභෝජන කටයුතු සඳහා ණය ලබා දීම.
7.ණය වාරික එකතු කිරීමට නිවෙස් වලට පැමිණීම සහ එසේ පැමිණ තර්ජනය කිරීම, බිය වැද්දවීම සහ බැණ වැදීම.
8.ණය ගිවිසුම් අලුත් කිරීම සහ හිස් කොළ වලට අත්සන් ලබා ගැනීම.
9.නිවෙස් වල ඇති භාන්ඩ ලබා ගැනීමට තැත් කිරීම.
10.ලිංගිකමය හිංසනයන් සිදු කිරීම.
කෙසේ වෙතත් රටේ මූල්‍ය විනය පිළිබඳව වගකිව යුතු පාර්ලිමේන්තුව සහ මහ බැංකුව මේ සම්බන්ධව මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති වීම කණගාටුදායකය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළ වෙබ් අඩවියට අනුව 2019 අගෝස්තු මස 30 වන දින වන විට බලපත්‍ර ලබාගෙන ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගණන තුනකි. ඒවා නම්, බෙරෙබ්ඩිනා, ලක් ජය සහ දුම්බර යන ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයි. එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන බොහෝ ආයතන ගණනාවක් රටපුරා දැකගත හකිය. ඒවා පවතින්නේ සැඟවී හොර රහසේ නොවේ. ප්‍රසිද්ධියේ නාම පුවරු එල්ලාගෙනය. රටක් ලෙස ශ්‍රී ලංකාව මූල්‍ය වංචාවන්ට සම්බන්ධ අඉදුවීම් ගණනාවකට මුහුණ දී ඇතත් ඒවායින් හෝ ආදර්ශයක් ගෙන වගකිව යුතු ආයතන මේවා පිළිබඳව සොයා නොබැලීම කනගාටුවට කරුණකි. එසේම කාන්තා සංවිධාන කෙතෙක් පැවතියද මව් වරුන්ගේ ගීවිත උගසට තබනා මේ ක්ෂුද්‍ර මූල්‍ය අවභාවිතාවය පිළිබඳව එකඳු කන්තා සංවිධානයක් හෝ ඉදිරිපත් නොවීද කණගාටුදායකය.
සපුමල් තැන්නේ මිනිසුන් සේම ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ගොදුරක් වූ සියලූම දෙනා බලා සිටින්නේ දිනෙක තමන්ගේ ජීවිත වල මල් පිපෙනා තුරුය.
රසික ගුණවර්ධන